.




TamilSriLankaEnglish (UK)
:

පියසර මෙහෙයුම් අංශය

බලපත්‍ර නිකුත් කිරීමේ සහ අනුමත කිරීමේ ක්‍රියාවලියක් හරහා ශ්‍රි ලංකාව ඇතුලත අන්තරායකාරී ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීම ඇතුලු වානිඡ ගුවන් සේවා කාර්යයන්හි නිරුපද්‍රතතාව අධීක්ෂණය කිරීම සහ ගුවන් යානා මෙහෙයුම් කරුවන් සහතික කිරීමද අනතුරුව අඛණ්ඩ නියාමක නිරුපද්‍රතතා අධීක්ෂණයක් පවත්වාගෙන යාමද පියසර මෙහෙයුම් අංශයේ ප්‍රධාන කාර්යයභාරය වේ.

ගුවන් යානා මෙහෙයුම්කරු සහතික නිකුත් කිරීම විදේශ ගුවන් යානා  මෙහෙයුම්කරු සහතික නිකුත් කිරීම සහ අන්තරායකාරී ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පියසර මෙහෙයුම් අංශයට අයත් ප්‍රධාන කාර්යයන් තුන වේ.

ගුවන් යානා  මෙහෙයුම්කරු සහතික නිකුත් කිරීම

1955 ගුවන් සංතරණ රෙගුලාසි - XIII පරිචේඡදය  "ගුවන් සේවා ‍ මෙහෙයුම්" සමග කියැවිය යුතු 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 73(1) වගන්තිය අනුව පෞද්ගලික කාර්යයන්, ගුවන්ගත කාර්යයන්, කුලී හෝ නිත්‍ය පොදු ප්‍රවාහන සේවා සදහා ගුවන් යානයක් මෙහෙයුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු ඒ සදහා සිවිල් ගුවන් සේවා අධ්‍යකෂක ඡෙනරාල්ගෙන් බලය පැවරුමක් ලබා ගත යුතුව ඇත. ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකයක ගුවන්යානා මෙහෙයුම් කරුවකුට බලය පැවරෙන මෙහෙයුම් වල ස්වභාවයත් පරාශයත් නියම කෙරෙන අතර එවැනි මෙහෙයුම් වලට අදාලව පනවනු ලබන කොන්දේසි සහ සීමා කිරීම්ද  ඇතුලත් වේ.

විදේශ ගුවන් යානා  මෙහෙයුම්කරු සහතික නිකුත් කිරීම

ශ්‍රි ලංකාව තුලට නිත්‍ය මෙහෙයුම් සිදු කිරීමට අපේක්ෂා කරන කිසියම් විදේශ ගුවන්යානා මෙහෙයුම්කරුවකු වෙතොත් ඒ සදහා ඔහු සහතික කිරීමේ ක්‍රියාවලියකට යටත් විය යුතු අතර එම ක්‍රියාවලියට අදාල අවශ්‍යතා සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහුට ශ්‍රි ලංකාව තුලට මෙහෙයුම් සිදු කිරීමට අවසර දෙනු ලැබේ. විදේශ ගුවන්යානා මෙහෙයුම් කරුවකු සිවිල් ගුවන් සේවා අධ්‍යකෂ ඡෙනරාල්ගේ ‍ නෛතික සහ මෙහෙයුම් අවශ්‍යතා සම්පූර්ණ කළ විට ඔහුට ඡාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සමාගම් බල පත්‍රයක් නිකුත් කරනු ලැබේ.

අන්තරායකාරී ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීම සදහා අවසරපත්‍ර නිකුත් කිරීම

ශ්‍රි ලංකාව තුලට, ශ්‍රි ලංකාවෙන් පිටතට, ශ්‍රි ලංකාවට ඉහලින් හෝ ශ්‍රි ලංකාව ඇතුලත හෝ අන්තරායකාරී ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීමට/ මෙහෙයුම් කිරීමට අපේක්ෂා කරන මෙහෙයුම් කරුවකු සි.ගු.සේ.අ.ඡ ගෙන් ඒ සදහා බලය පැවරුම ලබා ගැනීම සදහා අන්තරායකාරී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිළිබද කාර්යය පටිපාටි සංග්‍රහයේ නියමිත කොන්දේසි සහ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුව ඇත.

වෙනත් අතිරේක කාර්යයන්

  • ගුවන්යානා මෙහෙයුම්කරු සහතික අඵත් කිරීම
  • ශ්‍රී ලංකාව තුළ  භූමි මෙහෙයුම් නියෝජිතයින් සහතික කිරීම
  • පියසර මෙහෙයුම් සංග්‍රහ, බර සහ තුලන සංග්‍රහ, නිරුපද්‍රතතා කළමනාකරන ක්‍රම සංග්‍රහ සහ  පුහුණු වැඩ සටහන් අනුමත කිරීම
  • අවම උපකරණ ලැයිස්තුව (MEL) අනුමත කිරීම
  • විශේෂ මෙහෙයුම් සඳහා අනුමැතිය දීම
  • ගුවන් ප්‍රවාහන සමාගම් පියසර උපදේශකවරුන් අනුමත කිරීම
  • සිමියුලේටර්, ස්ථාන පහසුකම් සහ පුහුණු පහසුකම් (විදේශ) සඳහා අනුමැතිය දීම.
  • මැදිරි නිරුපද්‍රතතා සංග්‍රහය අනුමත කිරීම
  • මැදිරි පිරිස් සාමාජික පුහුණු සංග්‍රහ සහ උපදේශක වරුන් සඳහා අනුමැතිය දීම
  • විදේශ ගුවන්යානා මෙහෙයුම්කරු සහතික (ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සමාගම් බලපත්‍ර) අඵත් කිරීම
  • අන්තරායකාරි ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍ර අඵත් කිරීම.
  • අන්තරායකාරි ද්‍රව්‍ය පුහුණු වැඩ සටහන් සහ උපදේශකවරුන් අනුමත කිරීම

 

මගපෙන්වීම් ලේඛන (පාඨක ඉල්ලීම මත විස්තර කර ඇත)

පිළිගතහැකි  ගුවන් සේවා නිරුපද්‍රතතා මට්ටමක් නියම කරනු ලබන ගුවන් සේවා රෙගුලාසි සහ ප්‍රමිති සමග අනුවෘත්‍යය  පැවැත්වීම ප්‍රවර්ධනය කරන, සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි නියාමන විගණන වැඩ සටහන සඳහා මග පෙන්වීම සහ උපදෙස් ලබා දෙන්නේ මෙම නියාමන විගණන උපදෙස් සංග්‍රහය මගින්ය.  ගුවන් යානා මෙහෙයුම්කරුවන් බොහෝ දෙනෙක් සතුව අභ්‍යන්තර විගණන සඳහා ඔවුන්ගේම මග පෙන්වීම් ලේඛන තිබෙන නමුත් තම තමන්ගේ මග පෙන්වීම් ලේඛන විකාශනය කර ගැනීමේදී මෙම උපදෙස් සංග්‍රහයේ ඇතුළත් ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි අනුගමනය කරන ලෙස ඔවුන් උනන්දු කරවනු ලැබේ.

මෙහෙයුම් පරීක්ෂක අත්පොත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා  අධිකාරියෙහි ගුවන් සේවා නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්ය සඳහා අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම ලබාදෙයි.  මීට අමතරව ගුවන් සංතරණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී අදාළ වන කාර්යයන් ඉටු කිරීම සඳහා  මෙහෙයුම් පරීක්ෂකවරුනට අවශ්‍ය ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි සම්බන්ධ තොරතුරු ද එහි ඇතුළත් වේ.  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරයෙහි අභිමතාර්ථය වනුයේ ප්‍රමිත ආකාරයකට නිලධාරීන්ට ඔවුන්ගේ  කාර්යයන් ඉටු කිරීමට හැකි වන අයුරු ඔවුනට මග පෙන්වීම සැපයීමයි.

ගුවන් සංතරණ රෙගුලාසි 216 අනුව, පිරික්සුම් සංවිධානයක් පිහිටුවීමට අදහස් කරන කිසියම් ගුවන් යානා   මෙහෙයුම්කරුවකු මෙම  උපදෙස් සංග්‍රහයේ නියමිත අවශ්‍යතාවන්ට අනුකූලව එම පිරික්සුම් සංවිධානය පිහිටුවිය යුතුය. තව දුරටත් ICAO Doc.  8335 -  " මෙහෙයුම් පරීක්ෂණ, සහතික කිරීම් සහ අඛණ්ඞ සෝදිසිය" නමැති ලෙඛණයද මීට අදාල වේ. මෙහෙයුම් කරුවන්ගේ නම් කළ පුද්ගලයින් වෙත යම් යම් පරීක්ෂණ පැවැත්වීමේ කාර්යයන් පවරා දීම රාඡ්‍යයක සිවිල් ගුවන් සේවා නියාමක අධිකාරිය විසින් ගනු ලබන පිළිගත් ක්‍රියා මාර්ගයකි

 පොදු ගුවන් ප්‍රවාහනය සදහා ශ්‍රී ලංකාවේ ලියා පදිංචි කර ඇති ගුවන්යානා/ ගුවන් ප්‍රවාහන සමාගම් වල සේවයෙහි යොදවා ඇති පියසර පිරිස් සාමාඡිකයින්ගේ සහ මැදිරි පිරිස් සාමාඡිකයින්ගේ වෙහෙස කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය ඔවුන්ගේ පියසර කාලය, රාඡකාරී කාල පරිච්ඡේද සහ විවේක කාල පරිච්ඡේද වලට අදාල සීමා පැනවීම් සදහා මග පෙන්වීම සැපයීම සදහා මෙම සංග්‍රහය සකස් කර ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියේත් ගුවන් සේවා කර්මාන්තයේත් සේවය කරන පුද්ගලයින්ට මග පෙන්වීම සදහා සකස් කර ඇති SLCAP 4215 ලේඛණයෙහි, ගුවන් සේවා නිරුපදුතතා නිවේදනයන්ට අනුකූලව සිවිල් ගුවන් සේවා අධිකාරියට අවශ්‍ය ප්‍රධාන අවම උපකරණ ලැයිස්තුව සහ අවම උපකරන ලැයිස්තුව විකාශනය කිරීම සහ අනුමත කිරීම සදහා අවශ්‍ය සියලුම අදාල තොරතුරු ඇතුලත් වේ.

ගුවන් යානා මෙහෙයුම් කරුවකුගේ පියසර දත්ත විශ්ලේෂණ වැඩසටහනට අදාල යහපත් පරිචයන් මෙම ලේඛනයෙහි සැකෙවින් දැක්වේ. ආනුෂංගික වශයෙන් මෙම වැඩසටහන පියසර පිරිස් කාර්ය සාදනය, මෙහෙයුම් කාර්ය පටිපාටි, පියසර බහුලතාව, ගුවන් ගමන් පාලන කාර්ය පටිපාටි, ගුවන් සංතරණ සේවා සහ ගුවන්යානා නඩත්තු කිරීම සහ සැලසුම් කිරීම වැඩි දියුණු කිරීම සදහා එදිනෙදා පියසරයන් අතරතුර පටිගත කළ දත්ත රැස් කිරීම සහ විශලේෂණය කිරීම සදහා වු පූර්ව ක්‍රියා පටිපාටි සහ දඩුවම් පැමිණවීම අරමුණු කර නොගත් වැඩ සටහනක් විය යුතුය.

 ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට මෙහෙයුම් පරීක්ෂක වරුන් බදවා ගැනීමේ සහ ඔවුන් පුහුණු කරවීමේ ක්‍රියා පිළිවෙල සම්බන්දවත්, මෙහෙයුම් පරීක්ෂක වරුන්ගේ රාඡකාරී ඉටු කිරීමේදී ඔවුන්ට පැවරෙන විවිධ රාඡකාරී සහ වගකීම් සම්බන්දවත් සංක්ෂිප්ත වශයෙන් කරුණු දැක්වීමේ අරමුණෙන් මෙම උපදෙස් සංග්‍රහය සකස් කරනු ලැබ ඇත.

පියසර මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර සියළුම වාණිඡ මෙහෙයුම් කරුවන් නිරැපද්‍රතතා සහ හදිසි අවස්ථා කාර්යය පටිපාටි සංග්‍රයක් සවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල් වෙත අනුමැතිය සදහා ඉදිරිපත් කළ යුතුව ඇත. නිරුපද්‍රතතා සහ හදිසි අවස්ථා කාර්යය පටිපාටි සංග්‍රයක් පළ කරීමේදී එහි අන්තර්ගතයෙහි පවත්වා ගත යුතු අවම ප්‍රමිතීන් මෙම සංග්‍රහය මගින් සැකෙවින් නියම කරනු ලැබේ. 

ගුවන් සේවා නිරුපද්‍රතතා නිවේදන 051 අනුව මැදිරි පිරිස් සාමාඡික ගුවන් යානයක් ඇතුලත නිරුපද්‍රතතාවට අදාළ රාඡකාරී සදහා යෙදවීම අවශ්‍යතාවකි. මැදිරි පිරිස් සාමාඡිකයින් වශයෙන්  සේවයෙහි යොදවනු ලබන සියලුම පුද්ගලයින් එසේ සේවයෙහි යෙදවීමට පෙර සම්පූර්ණ කළ යුතු පුහුණු වැඩසටහන් විකාශනය කර  සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල් ගේ අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීම ගුවන්යානා මෙහෙයුම් කරුවකු විසින් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවකි. අනුමැතිය ලබා ගැනීම සදහා ගුවන්යානා මෙහෙයුම් කරුවකු විසින් සිය පුහුණු වැඩසටහනෙහි ඇතුලත් කළ යුතු අවම මූලික සහ ප්‍රවර්තන පුහුණු අවශ්‍යතා මෙම උපදෙස් සංග්‍රහයෙහි නියම කර ඇත.

" සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල් ගේ ලිඛිතව ලබාගත් ප්‍රකාශිත අනුමැතිය රහිතව කිසිදු මෙහෙයුම් කරුවකු අන්තරායකාරී ද්‍රව්‍ය මෙහෙයුම් කිරීම හෝ ගුවනින් ප්‍රවාහනය කිරීම හෝ සිදු නොකළ යුතුය" යනුවෙන් ගුවන් සංතරණ රෙගුලාසි 129 හි සදහන් වේ. මෙම ලේඛනයෙහි අරමුණ වනුයේ ශ්‍රි ලංකාව තුළට, ශ්‍රි ලංකාවෙන් පිටතට, ශ්‍රි ලංකාවට ඉහලින් හෝ  ශ්‍රි ලංකාව ඇතුලත හෝ අන්තරායකාරී ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීමට/ මෙහෙයුම් කිරීමට අපේක්ෂා කරන මෙහෙයුම් කරුවකු විසින්  සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල් ගෙන් අවශ්‍ය බලය පැවරුම ලබා ගැනීම සදහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ අවශ්‍යතා විස්තර සහිතව පැහැදිලි කිරීමයි

මෙම මගපෙන්වීම් සංග්‍රහයෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති, කාර්යපටිපාටි සහ මග පෙන්වීම් අන්තරායකාරී ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කිරීම පරීක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් ඒ සම්බන්ධව ඒකාකාර අවබෝධයක් ප්‍රවර්ධනය කිරීමටත් පරීක්ෂක වරුන්ට සහය වීම සදහා සැලසුම් කරනු ලැබ ඇත. ඔවුන්ගේ රාඡකාරී සහ වගකීම් ඉටු කිරීමේදී මෙම ලේඛණයෙහි ඇති උපදෙස් පිළිපදිමින් ඒ අනුව කටයුතු කරන ලෙස පරීක්ෂක වරුනට නියම කරනු ලැබේ.

මෙම උපදෙස් සංග්‍රහයේ කාර්යය වනුයේ මෙහෙයුම් කරුවන්ට ඔවුන්ගේ පියසර මෙහෙයුම් සංග්‍රහ සකස් කර ගැනීමට මග පෙන්වීම සහ ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි මෙහෙයුම් පරීක්ෂක වරුනට මෙහෙයුම් කරුවන්ගේ පියසර මෙහෙයුම් සංග්‍රහ අනුමත කිරීමේදී අවශ්‍ය වන උපදෙස් ලබා දීමයි. ඔවුන්ගේ පියසර මෙහෙයුම් සංග්‍රහ සදහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට මෙම ලේඛණයට අනුකූලව කටයුතු කරගෙන යා යුතු බවට සියලුම මෙහෙයුම් කරුවනට නියම කරනු ලැබේ.

මෙම ලේඛණයෙහි අභිප්‍රාය වනුයේ 1 ප්‍රවර්ගයේ මෙහෙයුම් සිදු කිරීමට දැනටමත් බලය පවරනු ලැබ ඇති එමෙන්ම 2 ප්‍රවර්ගයේ සහ 3 ප්‍රවර්ගයේ  කාළගුණ තත්ත්වයන් යටතේ ගුවන්යානා මෙහෙයුම් සිදු කිරීමට සහ නඩත්තු සිදු කිරීමටත් අඩු දෘශ්‍යතා ඉගුලුම් සිදු කිරීමටත් අවසර ඉල්ලන සියලුම මෙහෙයුම් කරුවන්ට උපදෙස් ලබා දීමයි. තවදුරටත්, මෙවැනි උසස් කිරීම් සම්බන්ධව පරීක්ෂා කර අනුමත තිරීමේ කාර්යය පැවරී ඇති සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂක වරුනට ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම් ලබා දෙන ලේඛණයද මෙයයි.

මෙම ගුවන්යානා කාර්යසාධන කේතයේ මූලික අරමුණ වනුයේ එන්ඡින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත ටර්බයින් බලය යෙදු අව-ශබ්ධ වේගී විශාල ප්‍රවාහන ගුවන්යානා සම්බන්දයෙන් අදාල කර ගැනීමය. කෙසේ වුවද උචිත අවස්ථාවන්හි මෙය එන්ඡින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත ටර්බයින් හෝ පිස්ටන් බලය යෙදු අව-ශබ්ධ වේගී ගුවන් යානා සම්බන්ධයෙන්ද අදාළ කර ගත හැකිය. මෙය STOL හෝ  VTOL ගුවන්යානා සම්බන්දයෙන් අදාළ කර ගැනීම අදහස් නොකෙරේ. ගුවන් යානයේ කාර්ය සාධනය අදාල ගුවන් යානය තව දුරටත් සේවයෙහි රදවා ගැනීමට සෑහෙන ප්‍රමානයේ කාර්ය සාධනයක නියෝඡනයක් ලෙස නිශ්චය කළ යුත්තේ කෙසේදැයි මෙම ලේඛනයෙහි පෙන්වා දෙනු ලැබේ. 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 14-09-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 96  ක් සබැදී සිටී